Ru Rase Adina Lese - රූ රැසේ අඳිනා ලෙසේ

Ru Rase Adina Lese – රූ රැසේ අඳිනා ලෙසේ

Reading Time: 3 minutes
5/5 - (10 votes)

Ru Rase Adina Lese Lyrics and MP3

සිංහල කවි පරපුවරෙහි නව මගක් ගත් කවියෙකු ලෙස වෑත්තෑවේ හිමියන් සඳහන් කළ හැකිය. සංස්කෘත කාව්‍ය අනුකරණය කරමින් කාව්‍යකරණයේ යෙදුණු කවීන්ගේ මඟ නොයමින් ස්වාධීන වූ කවි මගකට පිිළිපන් වෑත්තෑවේ හිමියන් ජන වහරත් වියත් වහරත් මනා ලෙස සංකලනය කරමින් රමණීය අන්දමින් ගුත්තිල කාව්‍ය රචනා කළහ. පහත කාව්‍ය දිගු විරිතක් භාවිතයෙන් නිර්මාණය කොට ඇත්තේ සුරංගනාවන්ගේ රංගන ලාලිත්‍ය ඉස්මතු වන පරිදිය.

කෝට්ටේ සාහිත්‍ය අම්බරයේ දිදුලණ තාරකාවක් බඳු වෑත්තෑවේ හිමියන් විසින් විරචිත පද්‍ය 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යයට කාව්‍යානුභූතිය වූයේ ද ජාතක කතාවකි. එනම් ගුත්තිල ජාතකයයි. උන්වහන්සේ ජාතක කතා වස්තුවේ රිද්මය නොබිඳ, අවශ්‍ය තැන් හඳුනාගෙන අනවශ්‍ය තැන් බැහැර කරමින්, අලුත් වර්ණනා ඉදිරිපත් කරමින් මෙම අනගි කාව්‍යය රචනා කළහ. 

ගුත්තිල ජාතකය අරඹන්නේ අනෙකුත් ජාතක කතා අරඹන ආකාරයෙනි. ඒ බෝසත් චරිතය ඉස්මතු වන අයුරෙනි. “යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ……”ගුත්තිල ජාතකය එසේ ආරම්භ කරතත්, ගුත්තිල කවියා සම්මත කාව්‍ය ක්‍රමයට අනුගත වෙමින් තෙරුවන් ගුණ ගයා නැමැද පුර වර්ණනාවක් ඉදිරිපත් කෙරේ. එසේම ගුත්තිල ජාතකයෙහි ඇති ඇතැම් පද සඳහා වර්ණනාත්මක වැනුම් භාවිත කොට තිබේ.

ගුත්තිලය පටන් ගන්නේ…….

“සියපින් සිරින් සරු
දෙතිස්‌ ලකුණින් විසිතුරු
කෙළෙසුන් කෙරෙන් දුරු
වදිමි මුනි උතුමන් තිලෝ ගැරු”…..යන පදයෙනි.

Related Post: Sinhabahu Drama by Prof. Ediriweera Sarachchandra

රූ රැසේ අඳිනා ලෙසේ අත්

ලෙලදිදී විදුලිය පබා…

රන් රසේ එක්වන ලෙසේ වෙණ

නාද නූපා තබ තබා…

කම්පසේ දෙන සැර ලෙසේ දෙස

බල බලා නෙතඟින් සබා…

මං කෙසේ පවසම් එසේ වර

සුර ළදුන් දුන් රඟ සොබා…

පුන් මදාරා මල් දමින් යුතු

දිගු සුනිල් වරලස ගොතා…

මන් මදා කිතු ලිය ලෙසින් උර

තුර සරා දිලි මුතු ලතා…

මන් නදා වන මිණී මෙවුල් නද

වෙණ නදින් එක්කොට ඉතා…

උන් එදා දුන් රඟ දුටොත් තව

සක් සැපත් කවරෙක් පතා…

පිපි සමන් කුසුමන් පටින් තන

රන් හසුන් මෙන් මන් බැඳේ…

ලඹ සවන් දිගු රන් පටින් දන

නෙත් නුවන් බඳීමින් තදේ…

මද පවන් වැද ලෙළ පහන් සිළු

මෙන් රැගුම් දෙන රන් බඳේ…

දෙවි වුවන් රූ සිරි නුවන් බඳූ

බඹ වුවත් දැහැනින් මිදේ…///

Audio credit goes to its respective owners. Ru Rase Adina Lese (MP3)

රූ රැසේ අඳිනා ලෙසේ ගීතය සුසිල් ‍ප්‍රේමරත්න හා ලතා වල්පොල ශිල්පීන් විසින් ගුත්තිල කාව්‍ය ඇසුරෙන් ගායනා කළ ගීතයකි. (Ru Rase Adina Lese – Latha Walpola & Susil Premarathna)

රූ රැසේ අඳිනා ලෙසේ – පද විවරණය

රූ රැසේ – රූප රාශියක්, අඳිනා ලෙසේ – අඳිනා ආකාරයෙන්,  විදුලිය පබා – විදුලිය ප්‍රභාව ඇති,  අත් ලෙලදිදී – අත් ලෙළ දවමින්,  රන් රසේ – රන් හා රසදිය,  එක්වන ලෙසේ – එක් වන ආකාරයෙන්,  වෙණ නාදනූ – වීණා නාදයට,  අනුව පා තබ තබා – පාද තබමින්,  කම්පසේ දෙන – අනංගයා විසින් දෙන,  සර ලෙසේ – ඊතල වගේ,  නෙතගින් – ඇස් අගින්,  සභා දෙස බල බලා –  සභාව දෙස බලමින්,  එසේ වර සුර ලඳුන් – එසේ උතුම් වූ  දිව්‍ය ස්ත්‍රීන්,  පැවැත්වූ – පැවැත්වූ වා වූ, රඟ සුබා – රැඟුමේ ස්වභාවය,  මම කෙසේ පවසමි – මම කෙසේ පවසම් ද

පුන් මදාරා – පිපුනා වූ මදාරා, මල් දමින්  – මල් මාලයෙන්,   මුදු = මෘදු වූ, දිගු සුනිල් වරලස – ඉතා දික් වූ නිල්වන් කේශ කලාපය, ගොතා – ගොතාගෙන,  මන්මදා  – අනංගයාගේ, කිතු ලිය ලෙසින් – කීර්ති ලතාව වැනි,   දිලි මුතු ලතා  – දිලිසෙන මුතුවැල්,  උරතුර උර පෙදෙසේ,  සරා – සරසාගෙන,   මන් නදා වන – සිත් සන්තෝස කර වන,  මිණි මෙවුන් නද – මණි මේකලා නාදය, වෙණ නදින් – වීණා නාදය, ඉතා එක්කොට – හොඳින් එකතු කොට, උන් – ඒ දිව්‍යාංඟනාවෝ, එදා දුන් රඟ දුටොත් – එදා දින නර්තනය දුටුවොත් , සක් සැපක් – ශක්‍ර සම්පත්තිය, කවරෙක් පතා – කවරෙක් පතයි ද

පාඩම උපුටා ගැනීම : ගුත්තිල කාව්‍ය
කතුවරයා : වෑත්තෑවේ හිමි
ගුත්තිල කාව්‍ය රචනා කිරීවේ දි පාදක කරගත් කෘතිය : සිංහල ජාතක පොතෙහි ඇතුළත් ගුත්තිල ජාතකය
ජාතක පොත රචනා කර ගත් කෘතිය : පාලි ජාතකට්ඨ කථාව
ගුත්තිල කාව්‍ය ලියවුණු යුගය : කෝට්ටේ යුගය

Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well, through which I earn commissions at no extra cost to you.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

EDU HELP OFFICIAL

Scroll to Top